2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

මොබයිල් ෆෝන් එකෙන් මිනිසුන් රවටා සල්ලි ගැරූ කුඩ්ඩා

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 169

ආයුබෝවන්... ඔබේ ජංගම දුරකථන ජාලයේ සති අන්ත දිනුම් ඇදීමෙන් ඔබ ජයග්‍රහණය කර ඇති බව සතුටින් දැනුම් දෙනවා... ඔබට අපේ උණුසුම් සුබ පැතුම්...

හලෝ... හලෝ... කවුද මේ....? මම ඔබේ ජංගම දුරකථන සේවා ජාලයේ ප්‍රධාන කාර්යාලයෙන්... මෙවර සති අන්ත දිනුම් ඇදීමෙන් ඔබ රුපියල් ලක්ෂ විස්සක මුදල ජයග්‍රහණය කර තිබෙනවා... මේ පිළිබඳව ඔබට කෙටි පණිවුඩ මගින් දැනුම් දුන්නා... ඔබේ ප්‍රතිචාරයක් නැති නිසා නැවත අමතන්නේ...

ආහ්... මැසේජ් ආවට කියවන්නේ නෑ... ගොඩක් ඒවා ඩිලීට් කරනවා... අනේ සොරි...

කමක් නෑ... ඔබතුමාගේ වාසනාවට මේ ඇමතුමට සම්බන්ධ වුණේ... අද සවස 4ට මේ ත්‍යාගය අවලංගු වෙනවා... ඊට පෙර ප්‍රධාන කාර්යාලයට පැමිණීම අවශ්‍ය වෙනවා... නැතිනම් ත්‍යාග මුදල ලබාගන්නා බවට වහාම තහවුරු කිරීමක් කරන්න අවශ්‍යයි...

ප්‍රසිද්ධ පෞද්ගලික දුරකථන සමාගමක සති අන්ත දිනුම් ඇදීමක ප්‍රථම ස්ථානයට හිමි රුපියල් ලක්ෂ 20ක මුදල දිනාගෙන ඇති බව කියමින් විවිධ පුද්ගලයන් මුලාකර ඊසි කෑෂ් ක්‍රමයට ලක්ෂ ගණනින් මුදල් වංචා කළ ජාවාරම්කරුවකු මිනිසුන් රවටා තිබුණේ ඉහත ලෙස ජංගම දුරකථන සේවා සපයන ආයතනයක වෘත්තීමය පාරිභෝගික සේවා නියෝජිතයකු ලෙස පෙනී සිටිමිනි.

මෙම වංචාවේ නියැලුණු සැකකරු රාජගිරිය, මාදින්නාගොඩ, නවගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ දකුණ කොට්ඨාසයේ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසුවය.
ජාවාරම පිළිබඳ කිසිවක් නොදන්නා පාරිභෝගිකයා රැවටීම සඳහා සැකකරු දුරකථන සේවා සපයන සමාගමේ විධායක නිලධාරියකු වශයෙන් පෙනී  සිට ඇති බවද පොලීසිය පවසයි. ඒ අනුව දිනුම් ඇදීමෙන් ලද මුදලට රජයේ බදු මුදල වන රැපියල් 59,500ක මුදල පාරිභෝගිකයා විසින් සමාගමට බැරකළ යුතු බවද, එසේ කියමින් දීර්ඝ කාලයක සිට අවම වශයෙන් දිනකට රුපියල් 59,500ක මුදලක් ඊසි කෑෂ් ක්‍රමයට වංචා කර ඇති බවද පොලීසිය පවසයි.

මෙම ජාවාරම්කරුට රැවටී ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙවූ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු ඇතුළු තවත් ව්‍යාපාරිකයන් තිදෙනකු විසින් බොරැල්ල පොලීසියට සිදුකළ පැමිණිලි අනුව පොලීසිය විශ්වාස කළේ මෙය කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන ජාවාරමක් වන්නට ඇති බවය. පසුව ඒ පිළිබඳව විමර්ශනය සිදුකළ කොළඹ දකුණ කොට්ඨාසයේ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීහු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කළ බව කියන පැමිණිලි තුනක් අපට ලැබුණා. පැමිණිලි තුනම එක හා සමානයි. එකම දුරකථන සමාගමකට අයත් අංක කීපයකින් ඇමතුම් ලබාදීලා එක හා සමාන තොරතුරු ලබාදෙමින් තමා ජාවාරම සිදුකරලා තිබුණේ. සැකකරු භාවිතා කර තිබුණේ එක් වතාවක් දුටු පමණින් මතකයේ රැඳෙන දුරකථන අංකයන් කීපයක්. (වී.අයි.පී.) ඔහු ජාවාරම මෙහෙයවන්නේ එම දුරකථන සිම්පත් භාවිත කරමින්. ඒ සඳහා ඔහු පුද්ගලයන් තෝරාගැනීම සඳහා ව්‍යාපාරිකයන් බවට සැක කළ හැකි, ඔවුන් භාවිතයට ගන්නා බවට අනුමාන කළ හැකි දුරකථන අංකයන් වෙත ඇමතුම් ලබාගෙන තිබෙනවා. එහිදී ඔහුගේ සංවාදයට මැදිව කූඨ උපක්‍රමයට හසුවන පුද්ගලයන්ගෙන් මුදල් ඊසි කෑෂ් ක්‍රමයට ලබාගෙන තියෙනවා. ඒ සඳහා සැකකරු දුරකථන ඇමතුම් ලබාගෙන තිබුණේ දිනපතාම පස්වරු 3ත් 5ත් අතර කාලයේදී. යැයි විමර්ශන සිදුකළ නිලධාරියෙක් පැවසීය.

අද දවසෙන් පස්සෙ මේ ත්‍යාග මුදල අවලංගු වෙනවා. ත්‍යාග මුදල ලබාගන්නවා නම් වහාම එය තහවුරු කළ යුතුයි... ඔබට අපේ ප්‍රධාන කාර්යාලයට හෝ සේවා මධ්‍යස්ථානයකට ඉක්මනින් එන්න පුළුවන්ද?

මෙසේ විමසා සිටින්නේ දුරකථන සේවා ජාලයේ නියෝජිත ලෙස කතා කරන ජාවාරම්කරුය. සැබෑ තත්ත්වය නොදත් පාරිභෝගිකයෝ ඊට පිළිතුරු බඳිමින් සිටිති.

මට ප්‍රධාන කාර්යාලයට එන්න අපහසුයි. දුර ඉන්නෙ. නමුත් පාරිභෝගික සේවා ස්ථානයකට නම් යන්න පුළුවන්...
මේ කරුණු මත තීරණය ගන්නා සැකකරු වහා පවසන්නේ දැන් වෙලාව සවස 3 පහුවෙලා. අවස්ථාව ලැබෙන්නේ 4 වෙනකම් පමණයි. යනුවෙනි.

එහිදී කලබල වන පාරිභෝගිකයා විමසන්නේ තමා කළ යුත්තේ කුමක්ද යනුවෙනි.

සාමාන්‍යයෙන් ලොතරැයියක් ඇදුණොත් රජයට නියමිත බදු මුදල අයකරනවා. ඔබට ලැබෙන මුදල ලක්ෂ 20ක්. එතන බදු මුදල රුපියල් 59,500 යි. ඒ මුදල හැකි ඉක්මනින් ළඟම තියෙන සේවා මධ්‍යස්ථානයෙන් ගිණුම්ගත කරන්න. ඊට පස්සෙ හෙට උදේම ඇවිත් මුදල ලබාගන්න පුළුවන්. යැයි ජාවාරම්කරු පවසද්දී යම් හෙයකින් පාරිභෝගිකයන්ට සැක සිතී යමක් විමසුවේ නම්,

සැකනම් ප්‍රධාන කාර්යාලයට ඇමතුමක් ගන්න... කෙටි පණිවුඩ 3ක් එවලා තිබෙනවා... යැයිද පවසා ඇති බව පැමිණිලිකරුවෝ පවසති.

“මේ විදිහට දුරකථන සංවාදයේ ඉන්න ගමන් සැකකරු පාරිභෝගිකයාගෙන් අහනවා ඉන්න තැන. පසුව ඔහු විසින් ඒ මොහොතේම පාරිභෝගිකයාට කිට්ටුවම තිබෙන සේවා මධ්‍යස්ථානය පිහිටි ස්ථානය කියනවා. ඒ නිසා පාරිභෝගිකයන්ට සැක කරන්න අවස්ථාවක් නැති වෙනවා. සැකකරු ඒ සඳහා සිතියමක් භාවිත කරනවා. ඔහු කියන පරිදි රුපියල් 59,500 ගිණුම් ගත කරන්න කැමති වූ පුද්ගලයන් ඔහුගේ උපදෙස් මත වැඩකරනවා. මේ අතර ප්‍රධාන කාර්යාලයට එන ලිපිනය, ගොඩනැගිල්ලේ ස්වභාවය, තමන්ගේ කාර්යාලය පිහිටි ස්ථානය සියල්ල පවසනවා. ගොඩනැගිල්ලේ ඇතුළත ගමන් මාර්ගයද පවසා අවසානයේ ත්‍යාග ලබාදීමේ ඒකකයේ කළමනාකරු හමුවන ලෙසද දන්වනවා. මේ අනුව ගොඩනංවන විශ්වාසය කිසිවකුටත් අවිශ්වාස කරන්න බෑ. මේ විදියට කාරණයට අදාළ තොරතුරු කියමින් දුරකථනය විසන්ධි නොකර ගනුදෙනුව අවසන් වන තුරුම රැඳීසිටින ලෙසද කියනවා. මේ විදිහට සමහරු ඊසි කෑෂ් මධ්‍යස්ථානවලට ගෙන්වා ගන්න ඔහු කටයුතු කරනවා. යැයි විමර්ශන සිදුකළ නිලධාරියා විස්තර කළේය.
“අපේ ගිණුම් අංකය විදියට භාවිත කරන්නෙත් දුරකථන අංකයන් කීපයක්. මේ අංකයට සම්පූර්ණ මුදල ඊසි කෑෂ් කරන්න. එතනින් ඔබට රහස් අංකයක් ලැබෙනවා. ඒ අංකය මට ලබාදෙන්න. දුරකථනය විසන්ධි නොකර රැඳීසිටින්න මම නැවත ඔබට රහස් අංකයක් දෙනවා. එය රුගෙන ප්‍රධාන කාර්යාලයට ඇවිත් ත්‍යාගය ලබාගන්න.

මේ විදියට ජාවාරම්කරු මිනිසුන් රවටලා ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන දුරකථනය විසන්ධි නොකර තබාගන්න කියලා ඒ අතරේ ඔවුන් වෙනත් ස්ථානයකින් එම මුදල ලබාගන්නවා. ඒ වනතෙක් පිටස්තර සබඳතාවයකට ගැනුම්කරු නොයන තරමට රඳවාගන්න සැකකරු දක්ෂ වෙලා තියෙනවා. යැයි පොලීසිය කියා සිටී.

නවීන තාක්ෂණය උපයෝගී කොටගෙන ජාවාරම මෙහෙයවමින් සිටි පුද්ගලයා හඳුනාගැනීමට පොලීසිය වෙහෙසකර උත්සාහයක නිතර විය. ඒ අනුව ජාවාරම්කරුට නොදෙවැනි ලෙස නවීන තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් දුරකථන සන්නිවේදන දත්ත සහ බුද්ධි තොරතුරු පදනම් කරගෙන විමර්ශනය කරන්නට පොලීසිය පියවර ගත්තේය. සැකකරු දුරකථන ඇමතුම් ලබාදුන් අංකය ඔස්සේ විමර්ශනය සිදුකරමින් අධිකරණ නියෝගය මත දුරකථන විශ්ලේෂණ වාර්තා අධ්‍යනය කරන්නට පොලීසිය පියවර ගෙන තිබිණි.

එහිදී අනාවරණය වූයේ සැකසහිත දුරකථන අංකයට අදාළ ජංගම දුරකථනයේ එම අංකයට සමාන ජංගම දුරකථනය කඩවත, දෙහිවල, ත්‍රිකුණාමලය සහ රාජගිරිය ප්‍රදේශවල තිබෙන බවය. ක්‍රමයෙන් සැකසහිත දුරකථන අත්අඩංගුවට පත්වුවද ජාවාරම හෝ සැකකරු හමුවූයේ නැත. එහිදී අනාවරණය වූයේ විදුලි සංදේශ නියාමන කොමිසම පවා නොදැන සිටි එකම ඉමි අංකයෙන් ක්‍රියාත්මක වන දුරකථන 4ක් මෙරට පවතින බවය. ඉහත ප්‍රදේශවලදී ඒවා අත්අඩංගුවට ගත්තද තවදුරටත් එම අංකය සහිත දුරකථනය ක්‍රියාත්මක වෙමින් තිබුණේ බොරැල්ල, රාජගිරිය, වනාතමුල්ල, බේස්ලයින් පාර, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශ අශ්‍රිතව බවද සොයාගැනීමට හැකිවිය.

ඒ අනුව දුරකථන සංඥා ඔස්සේ පොලීසිය සුඛෝපභෝගී නිවෙසක් වැටලීය. එය පිහිටා තිබුණේ රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේදීය. එහි රැඳීසිටියේ 33 හැවිරිදි තුෂාර සම්පත් නැමැත්තෙකි.

ඔහු කොටුවන විටත් පෙරකී සැක සහිත දුරකථනයද ඔහු සතුව තිබූ බව පොලීසිය පැවසීය. ඔහු විශාල වශයෙන් කුඩු බීමට ඇබ්බැහි වී සිටි අයකු බවටද ඔහුගේ ජාවාරම සඳහා සිය සොහොයුරා සම්බන්ධ වී ඇති බවද වාර්තා වී ඇත. සැකකරු අවම වශයෙන් දිනකට රුපියල් 10,000ක කුඩු බොන බවත් ඒ සඳහා ජාවාරමේ මුදල් යොදවන බවත් අනාවරණය වී ඇත.

අවුරුදු තුනක් තිස්සේ මෙම ජාවාරමේ යෙදී සිටි පුද්ගලයා රුපියල් ලක්ෂ 10ක් කප්පම් ගත් සිද්ධියකට ගල්කිස්ස අධිකරණයේ පවතින නඩුවක චූදිතයකු බවද පිළියන්දල ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැර ගැනීම පිළිබඳ වැලිකඩ බන්ධනාගාර ගතව සිටි අයකු බවද හෙළිවී ඇත.

එසේ බන්ධනාගාර ගතව සිටි කාලයේදී එහි සිදුවූ බව කියන ජාවාරම් අධ්‍යනය කරමින් ඒ ක්‍රමවේද තමාද අත්හදා බලමින් ජාවාරමේ නියැලුණු බව සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත පණාමල්දෙණිය, සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, කොළඹ දකුණ කොට්ඨාසයේ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිනිගේ, උපපොලිස් පරීක්ෂක ජගත්සිරි, පොලිස් සැරයන් 28752 හේරත්, පොලිස් කොස්තාපල් 27877 රාජපක්ෂ, 67243 විජේවීර, 70211 අබේසිංහ යන නිලධාරීහු විමර්ශන සිදුකළහ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00